අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ යෝජනාවකින් ස්ථාපිත කෙරුණු ජාතික සභාවේ පළමු රැස්වීම අද පැවැත්වෙනවා. ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10 යි 30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි.
කෙටි, මධ්‍ය සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා සියලු පක්ෂවල එකගතාවයෙන් මගපෙන්වීම ජාතික සභාවේ ප්‍රමුඛ කාර්්‍යයක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉකුත් දා ප්‍රකාශ කළා. ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන පොදු අවම වැඩසටහන් සම්බන්ධයෙන් එකගතාව ඇති කර ගැනීම ද එහි තවත් වගකීමක්.
පිළිගත් දේශපාලන පක්ෂවල පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් ජාතික සභාව සමන්විත වනවා. කථානායකවරයා සභාපතිත්වය දරණ එම ජාතික සභාවට සභානායකවරයා, විපක්ෂ නායකවරයා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා, දේශපාලන පක්ෂ නායකයින් විසින් තීරණය කළ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 35 කට නොවැඩි විය යුතු බවටයි මීට පෙර තීරණය වුණේ.
කෙසේවෙතත් අද පැවැත්වෙන ජාතික සභාවට විපක්ෂ නායකවරයා සහභාගී වන්නේ නැහැ. මීට පෙර යොදා ගත් ජනහමු කිහිපයකට සහභාගී වීමට නියමිත බැවින් කෙටි දැනුම්දීමකට අනුව ජාතික සභාවට සහභාගී විය නොහැකි බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ.
මේ අතර සිය පක්ෂවල කිසිඳු මන්ත්‍රීවරයෙකු ජාතික සභාවට එක් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ උත්තර ලංකා සභාගය පැවසුවා.
ජාතික ජනබලවේගය, දෙමළ ජාතික සන්ධානය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම නියෝජනය කරන පාර්ශවය ද ජාතික සභාව නියෝජනය නොකරන බව මීට පෙර දැනුම් දුන්නා