ධන විරෝධි ආකල්පය සහ ව්‍යවසායකත්වයේ මලඟම

ලංකාවේ ජන සමාජයේ ඉතා ගැඹුරට කිඳා බැස ඇති විශාල පිළිලයක් වන්නේ පොදුවේ මිනිසුන් තුළ තිබෙන ‘ධන විරෝධී’ ආකල්පයයි.ඒ කියන්නේ, ධනය උත්පාදනය කිරීම පිළිබඳ ශ්‍රී ලාංකිකයන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ නඩත්තු කරගෙන එන බියක් සහ සැකයක් තියෙනවා.

ධනය උත්පාදනය කිරීම සහ ඒකරාශී කිරීම (wealth creation and accumulation) යනු අපරාධයක් හෝ අයහපත් දෙයක් ය යන මතය සමාජය තුළ ඉතා ම සියුම්ව මුල් බැසගෙන තියෙනවා.ධනය ඉපැයීමට දක්ෂ පුද්ගලයා “නරක මිනිසෙකු” හෝ “සූරා කන අදමිටු මිනිසෙකු” ලෙසට චිත්‍රයක් සමාජයේ නිර්මාණය වී තිබෙනවා.

සරල උදාහරණයක් ගැන හිතුවොත් බොහෝ ගැමි කතන්දරවල, සාහිත්‍ය පොත්වල, ටෙලිනාට්‍ය හා චිත්‍රපටිවල අන්තර්ගතයන් තුළ ‘කඩේ මුදලාලි’ බොහෝ විට චිත්‍රණය කොට තිබෙන්නේ අයුතු ලාබ උපයන කළු චරිතයක් ලෙසයි. මුදලාලිට එළිපිට මිනිසුන් ගරුසරු ඇතිව කතාකළත් යටින් ඔහු පිළිබඳ තරහවක් ඔවුන් ගේ සිතේ දිවෙනවා.

සාධාරණ මිනිසා සැමදාම දුප්පතෙකු ලෙස සිටින බවත්, දුප්පතා ගේ හිත හොඳ බවත්, ධනවතා අසාධාරණ සහ අධර්මිෂ්ඨ මිනිසෙකු බවත් මේ හුඟක් කතාවල යටිපෙළෙන් කියනවා. මෙය හුදෙක් අහම්බයක් නොවෙයි.මෙය ආගමික බලපෑමක් නිසා සිදුවන දෙයක් ද, එසේත් නැත්නම් 1930 ගණන්වල සිට ලංකාවේ මුල්බැස ගත් වාමාංශික අදහස්වල බලපෑම නිසා ඇතිවූවක් ද, එහෙම නැත්නම් ඒ දෙකේ ම සංකලනයක් ද යන්න වෙන ම අධ්‍යයනය කොට බැලිය යුතුයි.

ඒ කෙසේ වෙතත්, මේ ධනය උත්පාදනය කෙරෙහි දක්වන අනියත සහ අතාර්කික බිය ශ්‍රී ලංකාවට දිගුකාලීනව විශාල අගතියක් සිදුකොට තිබෙනවා.මේ නිසා ලංකාවේ ජන සමාජය තුළ බොහෝ විට සිදුවන්නේ ධනය උත්පාදනය කිරීම ප්‍රවර්ධනය කෙරෙනවා වෙනුවට එය පිළිකෙව් කොට දුර්මුඛ කිරීමයි.

මධ්‍යම පංතියේ දෙමව්පියන් බොහෝ විට තම දරුවන් පොළඹවන්නේ ටයි පටියකින් ගෙල සිර කරගෙන, සීතල කාමරයක කාර්‍යාල රැකියාව කිරීමට මිස ව්‍යවසායකත්වය පැත්තට නෙවෙයි. පාසල් අධ්‍යාපනය බොහෝ සෙයින් නැඹුරු වී ඇත්තේ සේවා අංශයට ගැලපෙන වෘත්තිකයන් නිර්මාණය කිරීමට මිස ව්‍යවසායකයන් බිහිකිරීමට නෙවෙයි.

ලංකාවේ නීති සහ රාජ්‍ය ප්‍රතිපත්ති සකස් වී ඇත්තේ ද ව්‍යවසායකයන් දිරි ගන්වන ආකාරයට නොව දුර්මුඛ වන ආකාරයටයි.ආයෝජකයන් සම්බන්ධයෙන් අප දක්වන්නේ ද එවැනි ම ප්‍රතිපත්තියක්. ආයෝජකයන් සම්බන්ධ නීති රීති සහ ක්‍රමවේද සකස් වී ඇත්තේ ද ආයෝජකයන් යනු ලංකාවේ සාරය උරාගෙන යන්නට පැමිණි සූරාකන්නන් පිරිසක් ය යන ස්ථාවරයේ සිටයි.

එවැනි රටකට සෘජු විදේශ ආයෝජන අහිමි වීම ගැන කිසිවෙකුත් පුදුම විය යුතු නැහැ.මා මේ කියන්නේ ව්‍යවසායකයන්ට සහ ආයෝජකයන්ට කිසිදු නියාමනයක් නැතුව ක්‍රියාත්මක වීමට සහ බදු නොගෙවා සිටීමට ඉඩ දිය යුතුයි කියන අදහස නෙවෙයි. ඒත් අපේ රටේ නියාමනයකට වඩා සිදුවන්නේ දුර්මුඛ කිරීමක්. එම ව්‍යාපෘති කෙරෙන තැනට නොව නොකෙරෙන තැනට කටයුතු කිරීමක්.

ආයෝජකයන් යනු රටේ සම්පත් සූරාගෙන යන්නට පැමිණෙන පිරිසක් ය යන මනෝභාවය නිසා අප ගනුදෙනුව පටන් ගන්නත් කලින් ඔවුන්ට වැට බැඳ සිරකොට දමනවා.

මේ ව්‍යවසායකත්ව සංස්කෘතිය මරා දැමීම නිසා ලංකාවේ සැබෑ ව්‍යවසායකයන් කියන පිරිස වඳ වෙලා ගිහින් තියෙනවා. ඒ වෙනුවට ලංකාවේ ව්‍යාපාර ලෝකයේ ආධිපත්‍යය දරන්නේ manipulators ලා පිරිසක්. ඔවුන් තමන් ගේ දේශපාලන සම්බන්ධතා හරහා නීති සහ රාජ්‍ය ප්‍රතිපත්ති අස්සෙන් රිංගා ගොස්, බදු දැලෙන් රිංගා ගොස්, ‘ක්‍රමය’ manipulate කොට අති විශාල ධනස්කන්ධයක් උපයනවා. ඔවුන් ගේ පැවැත්මට ප්‍රබල හේතුවක් වන්නේත් ව්‍යවසායකත්ව සංස්කෘතියක් නැතිකමයි.

පාලකයන් ගේ ගජමිතුරන් වන මේ පිරිස බලයට එන ඕනෑම ආණ්ඩුවක් වටා දූෂිත ජාවාරම්කාර වළල්ලක් සේ සිටිමින් ධනය මංකොල්ල කනවා. මොවුන් ඇත්තෙන් ම හැඳින්විය යුත්තේ ව්‍යාපරිකයන් ලෙස නොව ගිලාබත් වෙන රාජ්‍යයක් මංකොල්ල කන මුහුදු මංකොල්ලකාරයන් ලෙසයි.

මේ ‘ධන විරෝධී’ මානසිකත්වයේ තවත් විශාල අහිතකර බලපෑමක් වන්නේ පොදු ජනතාව ඉතා ම දැඩි ලෙස සහනාධාරවලට හුරු වී තිබීමයි.

ව්‍යවසායකත්ව සංස්කෘතියක් වෙනුවට සහනාධාර සංස්කෘතියක් මේ රටේ ඉතා ම ගැඹුරින් ස්ථාපිත වී තිබෙනවා. හැම දෙයක් ම රජයෙන් කළ යුතු යැයි ද, රජයේ පරම යුතුකම ජනතාවට සහනාධාර දීම යැයි ද රටේ ජනතාවගෙන් සැළකිය යුතු පිරිසක් සිතා සිටිනවා.මේ සහනාධාර නම් කැරට් අලය පෙන්වා බලයට පැමිණි බොහෝ ආණ්ඩු ඉතා ම අතාර්කික, අස්ථාවර සහ තිරසර නොවන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කොට රට විශාල ප්‍රපාතයකට ඇද දැමුවා.එහෙත් සහනාධාර මත ම යැපෙන්නට හුරු වී ඇති ජනතාව තවමත් තමන් වැටී ඇති ප්‍රපාතයේ ගැඹුර දන්නේ නැහැ.

කවුරුන් ආණ්ඩු කළත් ලංකාවේ ජනතාවගෙන් බහුතරයක් ඉතා දීර්ඝ කාලයක සිට මොළ ශෝධනයකට ලක්ව තිබෙනවා. මේ නිසා ඇතිවුණු විකෘතියෙන් අප තවත් සෑහෙන කාලයකට නිදහස් වන බවක් මට පෙනෙන්නේ නැහැ.ඒ වගේ ම, ඒ විකෘතියෙන් කවදා හෝ නිදහස් වන තුරු අපට කිසි දිනක ආර්ථික සමෘද්ධිය පිළිබඳ සියුම් බලාපොරොත්තුවක්වත් දල්වා ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ.

One thought on “ධන විරෝධි ආකල්පය සහ ව්‍යවසායකත්වයේ මලඟම

  1. We are not a nation who refuse the wealth. We are very greedy to accumulate wealth . We’re jealous of others wealth but don’t want to work hard to earn. Always looking for opportunities to exploit/rob/grab others wealth. Even the poorest man on the street dreaming to become rich over the night. People who can’t work hard to become rich condemn the person who is trying to be rich. If everyone is equally poor those people are happy

Leave a Reply

Your email address will not be published. Required fields are marked *