අර්බුදය සහ ලංකාවේ ආගමික සංස්ථාවේ අනාගතය

ඉදිරි දශකයේ දී ලංකාවට මුහුණ දෙන්න සිදුවෙන ව්‍යාකූල තත්ත්වයත් එක්ක බොහෝ නාගරික මධ්‍යම පාංතික මිනිසුන් ගේ ජීවිතවලින් අතුගෑවී යා හැකි එක දෙයක් වන්නේ “සාම්ප්‍රදායික ආගමයි.”සරලව ම කිව්වොත් මිනිසුන්ට මුහුණ දෙන්න සිදුවන ප්‍රශ්නවලට උත්තර දෙන්න සාම්ප්‍රදායික ආගම් අපොහොසත් වෙනවා.

මේ නිසා ආගමික සංස්ථාපිතයක් (establishment) ලොකු වියදමක් සහ මහන්සියක් දරලා පවත්වාගෙන යන්නේ මොකටදැයි මිනිසුන් ටිකෙන් ටික ප්‍රශ්න කරන්න පටන් ගන්නවා.තමන්ට මුහුණ දෙන්න සිදුවන මේ අලුත් ප්‍රශ්නවලට උත්තර හොයාගන්න මිනිසුන්ට සාම්ප්‍රදායික ආගම්වලට ස්පර්ශ කරන්න බැරි වඩාත් ගැඹුරු මානයක් සොයායන්න බොහෝ මධ්‍යම පාංතික මිනිසුන්ට අවශ්‍ය වෙනවා.

ඒ කියන්නේ සාම්ප්‍රදායික ආගම් නඩත්තු කරගෙන යාම අත ඇරලා ඊට වඩා ගැඹුරු ආධ්‍යාත්මික ජීවිතයක් ගැන සොයන්න සැළැකිය යුතු පිරිසක් පෙළඹෙන්න පුළුවන්.

එහෙම සිදුවෙනවාට මා පුද්ගලිකව කැමැතියි.

අප මතක ඇති කාලයක සිට අපේ ජීවිත ගෙවා ඇත්තේ වර්ධනය (growth) පදනම් කරගත් මානසික රාමුවක් තුළ ඉඳගෙනයි.රටක් විදියට මෙන් ම තනි තනි පුද්ගලයන් විදියටත් අප කාලයක් තිස්සේ වර්ධනය පිළිබඳව වූ සුවිශාල සිහින පවත්වාගෙන ගියා.

රටක් විදියට අප හීන දැක්කේ දැවැන්ත ව්‍යාපෘති, අහස උසට ගොඩනැගුණු ගොඩනැගිලි, කුළුණු, ප්‍රාකාර සමග තවත් සිංගප්පූරු ‍රාජ්‍යයක් ලංකාවේ පහළ වෙනවා දකින්නයි.

පුද්ගලික ජීවිතය තුළත් අපි දියුණුව කියලා දැක්කේ මෙයට ම සමගාමී සිහිනයක් නෙවෙයිද? අධි පරිභෝජනවාදී, අන්ත සුඛෝපභෝගී, වියදම් අධික, ජේත්තුකාර ජීවිතයක් ගත කරන්න හැකියාව ලබාගැනීම දියුණුව විදියට අප සැළැකුවා.අධ්‍යාපනය ලබාගැනීම, රැකියාවක් කිරීම වැනි බොහෝ දේ අප කරන්නේ මේ ‘දියුණුව’ හඹායන ගමන වෙනුවෙන් මිස වෙන දෙයක් නිසා නෙවෙයි.

බුද්ධ ශාසනය හෝ පොදුවේ ආගම ‘දියුණු කරනවා’ යැයි අප හිතන්නේත් ඉතා ම විශාල පන්සල්, පල්ලි, කෝවිල් හැදීමයි. ඒවාට කෝටි ගණනින් ආධාර කිරීමයි. විශාල ප්‍රතිමා හැදීමයි. අති විශාල ධනස්කන්ධයක් වැයකොට මහා පරිමාණ ‘පූජා’ පැවැත්වීමයි.

මේ හැම තැනක ම දියුණුව හෝ වර්ධනය කියලා අප තේරුම් ගන්නේ එක ම ආකෘතියක් බව ඔබට සිතෙන්නේ නැද්ද?

ආගම්වල ශාස්තෲවරුන් මොනවා කියලා තිබුණත් සමාජයේ බහුතරයකට සාම්ප්‍රදායික ආගම් අවශ්‍ය වන්නේ මේ “දියුණුව” හෝ වර්ධනය හඹායන ගමනට moral support එකක් ලබා ගැනීම වෙනුවෙනුයි.එසේත් නැත්නම් ඒ ගමනේ දී තමන්ට රිදෙන තැන්වල කිසියම් මානසික සුවයක් ලබා ගැනීම වෙනුවෙයි.. ඒ කිසිවක් නොවේ නම් අඩු තරමින් ඒ ගමන සඳහා කිසියම් නොපෙනෙන බලවේගයක ආශිර්වාදය හෝ රැකවරණය ලබාගැනීම වෙනුවෙනුයි.

සරල උදාහරණයක් විදියට ගෞතම බුදුන් සියලු දේ අතහැර දැමූ බෝ ගස යට හිඳගෙන බොහෝ බෞද්ධයන් සියලු දේ ප්‍රාර්ථනා කරනවා.

මේක හැම සාම්ප්‍රදායික ආගමට ම අඩුවැඩි වශයෙන් අදාළ වන සත්‍යයක්.

මා සිතන විදියට ඉදිරි දශකය තුළ ලංකාවේ සිදුවන ලොකු ම වෙනස වන්නේ Growth වෙනුවට Degrowth මත පදනම් වූ ජීවිතයකට ලංකාවේ බොහෝ දෙනෙකුට කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් හැඩගැසෙන්න සිදුවීමයි.

රටක් විදියට විතරක් නෙවෙයි, තනි තනි පුද්ගලයන්ටත් තමන් ගේ ජීවිත ඇතුළේ එසේ කරන්න සිදුවෙනවා.

විශාල සිහින, මහා පරිමාණ ව්‍යාපෘති අතහැර දමා සීමිත සම්පත් ටිකක් සුහුරු විදියට කළමනාකරණය කරගෙන, වෙනදාට වඩා “හැකිළුණු ජීවිතයක්” සතුටින් ගෙවන්නේ කොහොමදැයි කියන සංකීර්ණ ප්‍රශ්නයට උත්තර හොයන්න සිදුවෙනවා.

හැකිළුණු ජීවිතයක් සතුටින් ගෙවන්නට ඉගෙන ගත්තේ නැත්නම් මෙවැනි දරුණු අර්බුදයක් මැද පීඩාවට පත්වෙන බොහෝ මිනිසුන්ට අවසානයේ ඉතිරි වන විකල්පය සිය දිවි නසාගැනීමයි. ග්‍රීසිය ඇතුළු මෙබඳු අර්බුදවලට මුහුණ දුන් බොහෝ රටවල සියදිවි නසා ගැනීම් ප්‍රමාණය සැළකිය යුතු ලෙස ඉහළ ගියේ මේ හේතුව නිසයි.

Degrowth මත පදනම් වූ හැකිළුණු ජීවිතයක් සතුටින් ගෙවන්න නම් මිනිසුන්ට ඒ සඳහා වෙනත් දාර්ශනික ප්‍රවේශයක් අවශ්‍ය වෙනවා.

මහා සැලසුම් කන්දක් කන්දක් තමන් ඉදිරියේ හදාගෙන මුළු ජීවිතය ම වැයකොට එම සැලසුම් කන්ද තරණය කරන්න මහන්සි වෙන්නේ නැතුව, සොබාදහමට සොබාදහමේ කාර්‍යය කරන්න ඉඩ දී, ඒ ඒ මොහොත තුළ සතුටින් ජීවත් වන්නේ කෙසේදැයි කියන ප්‍රශ්නයට ප්‍රායෝගික පිළිතුරු අවශ්‍ය වෙනවා.

ආගම්වල ශාස්තෲවරුන් මුල් කාලයේ මොනවා කිව්වත් ඒ ශාස්තෲවරුන් ගේ නම් යටතේ හදාගෙන තියෙන, කාලයක් තිස්සේ පවත්වාගෙන යන ආයතනගත, සම්ප්‍රදායික ආගම්වලට මේ දාර්ශනික ප්‍රවේශය දෙන්න පුළුවන් යැයි මා හිතන්නේ නැහැ.

ඒ හින්දා මිනිසුන් ගේ ජීවිතවල මේ සාම්ප්‍රදායික ආගම්වලට ඇති වලංගුභාවය අඩුවෙනවා.

සාම්ප්‍රදායික ආගම් කියන බිත්තර කටුවෙන් එළියට එන මිනිසුන් එයට වඩා ආධ්‍යාත්මික ගැඹුරක් සොයා යන්න පටන් ගැනීම ම කවදා හෝ දවසක අලුත් සමාජයක් බිහිවීමේ එක වැදගත් පියවරක් විදියට මං දකිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *